Tuesday, September 15, 2020

මතක් වෙනවට ලියනවා. 01.

 

අ.පො.ස ( උසස් පෙළ ) ප්‍රතිළුල ලැබුණා. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුව ද, එතැනින් එහාට, ඉල්ලුම්පතට කැඳවීම්ක් ලැබෙන තෙක්  අවිනිශ්චිත ව සිටියෙමි.

එලෙස ම 1986.12.19 දින නිකුත් වූ රජයේ ගැසට් නිවේදන‍යෙන්, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ පූර්ව උපාධි ශිෂ්‍යත්ව - 1987 යන හිසින් අයදුම්පත් කැඳවා තිබුනි. ඒ සඳහා ද අයදුම් කළෙමි.

උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාවෙන් පෙනී සිටි මම ගණකාධිකාරිවරයෙකු හෝ උපාධිධාරියෙකු වී‍මේ සිහිනය පසු පස හඹා යාමට පටන් ගත්තෙමි. ඒ අනුව ඊට අදාල වෘත්තිය සුදුසුකම් සපුරා ගැනීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික කටයුතු ආරම්භ කළෙමි. ප්‍රායෝගික පුහුණුව සඳහා මා අයදුම් කළ රත්මලානේ පිහිටි ආයතනයෙන් කැඳවීම් ලැබු හෙයින්, 1986 දෙසැම්බර් මස සිට විගණන පුහුණු තනතුරේ රාජකාරී ආරම්භ කළෙමි. මුලින් ම රත්මලානේ පිහිටි එම ආයතනය තුළ මාස දෙකක් මූලික පුහුණුව ලැබුවෙමි. පසුව දිවයිනේ විවිධ පුද්ගලික ආයතනවල, පොල් වතු, තේ වතු හා සංචාරක හෝටල්වල විගණන කටයුතු පුහුණුව සඳහා වරින් වර මා හට යාමට සිදු විය.

ඒ අතරතුර සෝවියට් දේශයේ ශිෂ්‍යත්වයට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ තුනකට, අවස්ථා තුනක දී කැඳවා තිබුණි. 1987 මැයි මස අවසාන වන විට අදාල සම්මුඛ පරීක්ෂණ අවසන් වී තිබුණි.

1987 වසරේ ජූලි මස ආරම්භයේ සිට ම මරදානේ ආමර් වීදියේ පිහිටි පුද්ගලික ආයතනයකට විගණනය සඳහා ගියෙමි. වෙනදා මෙන් අම්මා ඔතා දෙන දවල් බත් එකත් රැගෙන 1987 ජූලි 28 අඟහරුවාදා දින ආමර් වීදිය කරා පිටත් වූයෙමි. දුම්රියෙන් කොටුව දුම්රිය ස්ථානයට ගියෙමි. ඉන් පිටතට පැමිණි මා හට වෙනදා නොමැති කලබල ගතියක් ඇති බවත්, ජනයාගේ ඒකරාශි වීමක් පවතින බවත් දැනුණි. වේලාව පෙරවරු 7.30 පමණ විය. මේ කලබලය එවක යෝජිත ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ව විය. එදා මෙම ගිවිසුමට එරෙහි ව කොටුව බෝධිය අසල දී විරෝධතා ව්‍යාපාරයක් කැඳවා තිබුණි. එම විරෝධතාවයට ජවිපෙ හා මව්බිම සුරැකීමේ සංවිධානයේ පිරිස් සහභාගි වූහ.          මගේ මතකයේ රැඳුනු ආකාරයට ජවිපෙ නායකයින් වන එච්.බී. හේරත්, ගුණරත්න වනසිංහ, ගාමිණි විජේසේකර යන අය එම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූහ. මව්බිම සුරැකීමේ සංවිධානයට එවක සිටි විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, ගාමිණි ඊරියගොල්ල යන අය සහය දුන් බව මා හට මතකයි. මව්බිම සුරැකීමේ සංවිධානයට හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් බව මතකයි. පෙරවරු 7.30 ට පමණ මම කොටුව පල්ලිය ඉදිරියෙන් බස් එකට නැග ආමර් වීදිය කරා යන විට විරෝධතාවය ආරම්භ වී තිබුණි. උදෑසන රාජකාරී ආරම්භ කර පැයක් ගත වූ පසු කොටුවට විශාල පිරිසක් ඇදී ආ බව දැනගැනීමට ලැබුණි. මධ්‍යහ්න 12.00 පසුවුනා මතකයි. සියළු ම නිළධාරීන් නිවෙස් කරා යා යුතු බව සාමාන්‍යාධිකාරී විසින් දැනුම් දෙන ලදී. “ බෝ ගහ ලඟ කලබල, කඳුළු ගෑස් ගහලා “ යනුවෙන් අයෙක් කියනවා ඇසුණි. ගෙදරින් ගෙන ආ බත් එක නොකා ම අතට ගත්තෙමි. ආමර් වීදියේ සිට පයින් කොටුව පැත්තට එන්නට පටන් ගත්තෙමි. කොටුව දෙසට පාරවල් වසා ඇති බවත්, වෙඩි තියන බවත් කොටුව දෙස සිට පැමිණෙන අයෙක් කීවෝ ය. ඒ සමග ම මරදාන දෙසට යන බව දැනගත්, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පාපුවරුවේ එල්ලුනෙමි. එය මරදාන දෙසට රැගෙන යාමට රියදුරාට නොහැකි වූයේ විශාල ජනගඟක් ගලා එන බැවිනි. ඔහු බස්රථය වෙනතකට හැරෙව්වේ ය. බේස්ලයින් පාරට ආවා මතකයි. එතනින් බොරැල්ලට අවේ විදුලි වේගයෙනි. කොන්දොස්තර මහතා “ අපි කටුබැද්දට යනවා, යන අය ඉන්න“ කිව්වා. ඒ වන විට වේලාව පස්වරු තුන පසුවී ඇති බව පාපුවරුවේ ඉහල පඩියේ සිටි ‍කාන්තාවක් කිව්වා මතකයි. බොරැල්ල හන්දියට දස දෙසින් ජන ගඟ ගලා එන්නට වූයේ ය. සමහරෙක් ඉවක් බවක් නැතිව ඒමේ අත දිව ගියහ. රජයේ කාර්යාලවල නම් සටහන් වූ කොල පාට ජීප් රථ එල්ලේ නාරාහෙන්පිට දෙසට පියාඹා ගියේ කෑලි හැලෙන්න ඔන්න මෙන්න තිබිය දී ය. මා පැමිණි බස් රථය ජනයාගෙන් ඉතිරි ගියේ ය. ඉදිරි පාපුවරුවේ අන්තීම පඩියේ දකුණු කකුල තබාගෙන වම් කකුල බස්රථයේ ඉදිරි බෆර් එකට තබාගෙන දකුණු අතින් පැති කණ්නාඩියේ එල්ලි ගමන ආරම්භ කළෙමි. බස් රථය ඉතා අපහසුවෙන් ගමන ආරම්භ කළ අතර අධික ජන ගඟ හා වාහන තදබදය මැද්දෙන් නාරාහෙන්පිට හන්දියට පැමිණෙන විට සවස 4.00 පසු වී තිබුණි. එතැන් සිට දකුණට හරවා 120 බස් ගමන් කරන පාරට පැමිණ වැල්ලවත්ත මිලාගිරිය සාන්ත පාවුළු බාළිකා විදුහල අසලට පැමිණියෙමු. ගාලුපාරට බස්රථය හැරවීමට අවකාශය අහිමි කරමින් පිරිසක් පොලු මුගුරු රැගෙන බස්රථය ඉදිරියට පැමිණිය හ. ඔවුන් දහයකට ආසන්න පිරිසකි. “ බැහැපල්ලා ඔක්කෝම. අපි බස් එක පුච්චනවා.“ කඩුවක් දරා සිටි එකෙක් කීවේ ය. තවෙකෙක් රියදුරාගෙන් බස්රථයේ යතුර ඉල්ලා සිටියේ ය. “ දීපං සල්ලියි මැෂින් එකයි.“ වියපත් කොන්දොස්තරට කෙසඟ කොල්ලෙක් තර්ජනය කළේ ය. “ පුතා මම මේවා ඩිපෝවට දෙන්න ඕනේ. මගේ රස්සාව ගහල යයි.“ කොන්දොස්තරට අතුල් පහරක් සැනෙකින් එල්ල කළේ ය ‍කෙසඟ අධමයා. කොන්දොස්තර මුදල් හා ටිකට් මැෂින් එක දුන්නේ නැත. රියදුරා ද යතුර දුන්නේ නැත.

මම දැක්කේ එපමණකි. අනෙක් අධමයෝ අපිව පලවා හැරිය හ. කර කියා ගැනීමට කිසිවක් නොමැති අපි හිස් ලූලූ අත දිව ගියෙමු. සාරි ඇඳගත් කාන්තාවන් කීපදෙනෙක්ම ඒවා පැටලී ගාලුපාර මත වැටෙනු දුටිමි. ඔවුන් වත්තන් කරගනිමින් ගැහැණු හා පිරිමි කිපදෙනෙක් නැවත කොළඹ දෙසට පැමිණිය හ. “ දැන් මොකද කරන්නේ. කොහොමද යන්නේ “. මම ඔවුන්ගෙන් විමසු‍වෙමි. “ කෝච්චියෙවත් යන්න බලමු.“ එක් අයෙක් පිළිතුරු දුන්නේ ය. එතැන් සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය පාගමනින් ගියෙමු. දුම්රිය ස්ථානයට පැමිණි අපට දැක ගැනීමට හැකි වූයේ, ජනයාගෙන් උතුරා යන වේදිකාවය. වේලාව සවස 5.00 ට ආසන්න වී තිබුණි. මුහුදුබඩ මාර්ගයේ ඉහලට හා පහලට දුම්රිය ගමන් නොකරන බව නිවේදනය කරන ලදී. කළ හැකි කිසිවක් නොමැති බව හැඟී ගිය ‍හෙයින්, රේලි පාර දිගේ පා ගමනින් නිවෙස් කරා යන පිරිසට මම එකතු වූයෙමි. දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, අඟලාන, ලුනාව, මොරටුව දක්වා පා ගමනින් ම පැමිණියෙමි. මොරටුව දුම්රිය ස්ථානයේ ලී බංකුවක් මත ටිකක් ගිමන් හැරියෙමි. “ ඇඳිරි නීතිය දාලා ගෙවල් වලට යන්න.“ දුම්රිය සේවකයෙක් කීවේ ය. ඉතිරි ටිකත් රේල් පාර දිගේම යාමට තීරණය කළෙමි. කොරළවැල්ල දුම්රිය ස්ථානය හරහා නිවසට පැමිණෙන විට වේලාව රාත්‍රී 7.00 පසු වී තිබුණි. ඇඟට ලේ ඉනුවේ ය. යකෙක් කන්න බඩගින්නක් දැනුනේ නාන විටදී ය.


No comments:

Post a Comment