Saturday, September 19, 2020

 මතක් වෙනවට ලියනවා. 02.

 

          1987 ජූලි 29 බදාදා උදෑසන, රේඩියෝවේ බොල් යකඩ හඬින් ඇහැරුණෙමි. “ මොරටුවේ කැම්පස් කොල්ලෙක් වෙඩි වැදිලා මැරිලා. “ තාත්තා මහ හඬන් මට ඇසෙන සේ කීවේ කාමරයේ දොර රෙද්ද මදක් ඈත් කරමිනි. ඇඳෙන් බසින්නට කළ උත්සහය වෙනදා මෙන් එක වර සාර්ථක වූයේ නැත. දෙපයේ මස්පිඩු වේදනාව තදින් දැනුණි. දෙවන වර සාර්ථක විය. ගාට ගාට කුස්සියට ගොස් කලය නවා වීදුරුව පිරෙන්නට වතුර වත්කළෙමි. කට සෝදා, එක උගුරට වතුර වීදුරුව බිව්වේ පෙර දින පිපාසය එතෙක් පැවති බැවිනි. මෙම විරෝධතාවයේදී ක්ලිෆඩ් පෙරේරා නම් වූ මොරටුව සරසවියේ සිසුවා වෙඩි වැදී මුලින් ම මිය ගියේ ය. තවත් 21 දෙනෙකුට ආසන්න පිරිසක් එතනදී මියගොස් තිබුනු බව වාර්තා වූවා මට මතකයි. එදින සිට සෑම නගරයක ම පාහේ විරෝධතාවයන් පැවතිණී. මොරවුට නගරයේ විරෝධතාවයෙන් මොරටුව දිගරොල්ල පාලම අසල දී, මගේ ගමේ එවකට නැගී ආ ව්‍යාපාරිකයෙක් වෙඩි පහරකින් මිය ගියේ ය. මෙම විරෝධතාවයන් ඇඳරි නීතිය ද නොතකා 1987 අගෝස්තු මස 2 තෙක් පැවතිණි. මෙම විරෝධතාවය පදනම් කරගනිමින් පුද්ගලයින් 132 ක් පමණ මිය ගොස් තිබූ බව මට මතකයි. විශාල විරෝධතා මධ්‍යයේ 1987 ජූලි 29 දින සවස 3.30 පසු වනවාත් සමග වාගේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා එවක ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අත්සන්කරුවෝ වූහ. පසු දින එනම් 1987 ජූලි 30 දින පෙරවරු 10.00 පමණ රජීව් ගාන්ධිගේ නික්ම යාමට පෙර ආචාර පෙළපාලියක් පැවැත්වූ අතර එතනදී ශ්‍රී ලංකා නාවික සෙබළෙක් වන විජිත රෝහණ විජේමුණි විසින් රජීව් ගාන්ධිට රයිෆල් බඳින් පහරක් එල්ල කළේ ය. රජීව් ගාන්ධිට එතරම් හානියක් නොවූ බව වාර්තා විය.

රටේ තත්ත්වය එතරම් යහපත් නොවන බව මට ඒත්තු ගියේ ය. මන්ද ඉන්දීය හමුදා ප්‍රහාරයක් කොයි මෙහොතේ හෝ එල්ල විය හැකි යැයි මට හැඟී ගියේ ය. මන්ද ඒ වන විටත් ඉන්දියාව විසින් ලංකාවේ ස්වෛරීත්වයට සුවිසල් හානියක් සිදුකර තිබූ බැවිනි. මෙම ගිවිසුම අත්සන් කරන මොහොත වන විට ඉන්දීය යුද නැව් යුගලයක් කොළඹ අවට මුහුදේ සැරිසරන ලදී. ගිවිසුම අත්සන් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ම ඉන්දීය හමුදා භටයින් සේනාංක වශයෙන් ගුවනින් හා සාගරයෙන් යාපනට ගොඩ බසින ලදී. මතකයේ හැටියට ඊට නායකත්වය දුන්නේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංහ වේ. එදින සවස් භාගය වන විට ඉන්දීය හමුදා උතුරේ ස්ථානගත විම ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා හමුදාව කොළඹට කැඳවා අවසන් වූයේ එදිනදී ම ය.

“ කොහොම වුනත් මේ කලබල අස්සේ දැන් කොහේවත් යන්න ඕනේ නැහැ.“ තාත්තා කීවේ උදේ කෑමට වාඩිවෙනවාත් සමග ය.

“ ඔය ලියුම එයාට දෙන්න. “ තාත්තා අම්මාට කීවේ ය.

“ මොන ලියුමද? “ ඇසුවෙමි.

ලියුම් කවරය අලවා තිබු ලෙසින් ම තිබුණි. එය විවර කර තිබුනේ නැත. විවර කළෙමි එය. 1987.07.23 දාතමින් සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා අනුස්මරණීය ජනතා මිත්‍රත්ව සරසවියට මා තෝරාගෙන ඇති බව දන්වන ලිපිය එහි විය. 1987 ජූලි 29 වන බදාදාව, මගේ ජීවිතයේ සදාතනික සටහන, ඒ වන විටත් තබා අවසන් විය. දැන් කළ යුත්තේ කුමක් ද? ඉංග්‍රීසි බසින් වූ ලිපිය ඉතාමත් අවදානයෙන් කියවා අවසන් කළෙමි. 1987 අගෝස්තු 04 දින ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම්ගත වීමටත්, මා හට වීසා ලබාදීමට නිර්දේශ කරනු ලබන ලිපිය රැගෙන යාමටත් පැමිණෙන ලෙස දනවා තිබුණි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගොස් අදාල කටයුතු සිදුකර වීසා ලබාගැනීම සඳහා එදින ම සෝවියට් තානාපති කාර්යාලයට ගියෙමි. එවකට එය පිහිටා තිබුනේ කොළඹ 07, අංක 62 හි වූ, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි ය. පාස්පොට් ප්‍රමාණයේ ඡායා රූප දෙකක්, රු.240.00 ක් වීසා ගාස්තු සඳහා හා ගුවන් ගමන් බලපත්‍රය අදාල ලිපිය සමගින් ඉදිරිපත් කළෙමි. රූමත් සෝවියට් කාන්තාවක් මදහස පා, “ Are you student …………………………………. Lumumba,“ යන වචන දෙක පමණයි මට තේරුනේ. මම හිස වනා “ යේස් “ කීවෙමි. “ I am coming. Please stay here කියා මා අත තිබු ෆයිල් එක ගත්තා ය. එයින් ඇයට අදාල දෑ තොරා ගන්නවා මම දුටුවෙමි. “ Money කියා රු.240.00 ද ගත්තා ය. පැය භාගයකට පසු ඇය පැමිණ “ 13th, this month come and collect your Visa. 20th of August you can fly to Moscow. Your air ticket will be issued by Aeroflot office. “ කීවා ය. 1987 අගෝස්තු 13 වන දින වීසා හා ඊට අදාල ලේඛන ද රැගෙන නිවසට පැමිණියෙමි. පසුදින එනම් 14 වන දින කොළඹ 01 හි පිහිටි “ එරොෆ්ලොට් “ කාර්යාලයට ගොස් ගුවන් ටිකට්පත ලබා ගත්තෙමි. මේ සියළුම දෑ සඳහා බස් හා දුම්රිය ගාස්තුවත්, රු.240.00 ක් පමණයි වියදමට ගියේ. එදා සවස නිවසට පැමිණියේ කොළඹ කොටුවෙන් ගමනට අවශ්‍ය අඩුම කුඩුම හා සීතලට අඳින ඇඳුම් කිහිපයක්ද මිල දී ගෙන ය. එවක “ එරොෆ්ලොට් “ ගුවන් සේවාව සතියකට දින දෙකක් කොළඹ සිට මොස්කව් දක්වා ගමන් කරයි. ඒ සඳුදා හා බ්‍රහස්පතින්දා යන දින දෙකෙහි දී ය. තව දින හයකින් මගේ මොස්කව් ගමන නියත ය. හිත සතුටින් ඉපිල ගියේ ය.

ගෙදර සැම තරමක් කාර්යබහුල විය. මා හට රැගෙන යාම සඳහා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, උම්බලකඩ ගෙදර කෙටෙන්නේ ය. සීනි සම්බෝල, අළුවා, කිරිටොපි සැදෙන්නේ ය. තේකොළ, ‍කෝපි කුඩු ඇහිරෙන්නේ ය. පේයාව, වික්ස්, පැනඩෝල්, ඩිස්ප්‍රීන් ගමන් මල්ලට ඇහිරෙන්නේ ය. කලිසම්, කමිස, ටී ෂර්ට්, සීතලට අඳින ඇඳුම් ගමන් මල්ල තුළ දැනටමත් සුදානම් ය. එදා මගේ හිතට බයක් දැනුණි. ප්ලේන් එකේ, පිටරට, ඉගෙනගන්න යනවා. ඒ චකිතය කියා නිම කළ නොහැකි ය.

1987 අගෝස්තු 19 දින උදා විය. පාසැලේ මාගේ සමාන්තර පන්තියක මිතුරෙක් මා හමුවීමට නිවසට පැමිණියේ එදින සවස 6.00 පමණ ය. අම්මා හා තාත්තා ඔහු කවරෙක් ද යන්න විපරම් කළ හ. ලී වැට අද්දර කතාවට වැටුනෙමු. “ මොකද මචං කරන්නේ ? හෙන ප්‍රශ්නේ නේද ? “ මගෙන් ඇසුවේ ය. “ රස්සාවට යන එකත් නැවතුනා, මචං. කැම්පස් පටන් ගන්නේත් නැහැ දැන්ම. “ ඔහු කවරෙක් ද යන්න දන්නා නිසා එලෙස කීවෙමි. “ මචං මේ ක්‍රමයේ වැරැද්ද. මේක වෙනස් වෙන්න ඔනේ. මොකක් ද ඔයා හිතන්නේ. “ මිතුරා ඇසුවේ ය. “ මේ යන විදිහට ක්‍රමය නම් වෙනස් වෙන එකක් නැහැ. “ කටට ආවට කීවා මට මතකයි. “ සමාජ ක්‍රමය නිකං වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න ඕනේ. අපි ඒකට නායකත්වය ගන්න ඕනේ. ඔයාට ඒක ගැන මෙහෙම කියන්න බැහැ. මම යාළුවෙක් එක්ක එන්නම් හම්බ වෙන්න. “ එක හුස්මට මිතුරා කීවේ ය. මිතුරා අළුත් පාර දෙසට පාපැදියෙන් නික්ම ගියේ ය. මම ‍දොරකඩ සිට ගත්තෙමි. දැන් ඔහු රජයේ නිළධාරියෙකි.

“ ෆීලීක්ස්...., මම අහගෙන ඌ කියපු දේවල්. ඔය චේගුවේරා කාරයෙක්. හෙට නේද යන්න තියෙන්නේ. බහින්නේ නැහැ ගෙයින් එළියට.“ ගිගුම් දුන්නේ ය තාත්තා. “ මොකද, මොකද මේ ගිරිය පුප්පගෙන. “ අම්මා නැවී ගවුමෙන් අත පිසදමමින් පැමිණියා ය. “ මෙයාව හම්බවෙන්න ආපු එකා, චේගුවේරා කාරයෙක්. යාළුවෙක් එක්ක එනවා කිව්වේ. “ තාත්තා දැඩි මන්දස්වරයෙන් කීවේ ය. තාත්තාගේ කනට සියල්ල වැටී ඇත. කොහේ සිට ඇහුම්කන් දුන්නේ ද කියා තේරුම් ගැනීම අදටත් මට ප්‍රහේලිකාවකි. අම්මා වැඩි යමක් කිව්වේ නැත. “ 71 විඳපු දුක මතක ද? “ ඇය එපමණක් තාත්තාගෙන් ඇසුවා ය. “ ම්හ් “ යනුවෙන් පමණක් තාත්තා පිළිතරු දුන්නේ ය. එදින රාත්‍රියේ නින්දට ගියේ සතුට, චකිතය, භය යන සියළු ම හැඟීම් මුසු වූ කුමක් දෝ වෙනම ම එක් හැඟීමක් සමගිනි. සියළු බර හැරදා වෙනදා මෙන් සැහැල්ලුව වෙතට සිත ගියේ නැත. ඒ අහලකටවත් ගියේ නැත.

No comments:

Post a Comment