Tuesday, August 2, 2016

තෙවන කොටස

රතු හමුදාවේ නිර්මාතෘවරු වූයේ කම්කරුවන් හා ගොවීන්ය.

එමෙන්ම බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය ලෙනින් හා ස්තාලින් විසින් හොබවන ලදී.

       රතුහමුදාවට කාර්යක්ෂම ජීවය ලබාදෙන්නා හා එහි සියළුම වැදගත් ජයග්‍රහණ වල සංවිධායක වූයේ ස්තාලින් වේ. විප්ලවය තීරණාතමක වූයේ කොතැනද එතැනට පක්ෂය විසින් ස්තාලින්ව පිටත්කර හැරියේය. ස්තාලින් වැදගත් උපාය මාර්ගික සැළසුම් වල මැවුම්කරු වූයේය. ස්තාලින් තීරණාත්මක යුධ මෙහෙයුම් මෙහෙයවූ අයෙකි. ඔහුගේ නම රතු හමුදාවේ සෑම වැදගත් ජයග්‍රහණයක් සමගම ඈදී පවතින්නේය.

     ආක්‍රමණිකයින් සමග වූ යුද්ධය ජයග්‍රහණයෙන් නිමාවූ අතර සෝවියට් බලය ලෝක ආර්ථිකයේ ගොඩනැගීමට විශාල රුකුලක් විය. සෝවියට් දේශය සිව් වසරක අධිරාජ්‍යවාදී යුද්ධයෙන් හා තුන් වසරක සිවිල් යුද්ධයෙන් හෙම්බත් වී තිබුනි. රටේ ආර්ථිකය ගොඩනැගීම, පක්ෂය ඉදිරියේ වූ ප්‍රධාන ප්‍රශ්නය විය. ඒ අනුව කම්කරුවන් හා ගොවීන් විසින් නව ආර්ථික පදනමක් ගොඩනගන ලදී. ස්තාලින් ලෙනින් සමග එක්ව නිරන්තරයෙන් පක්ෂයේ පිළිවෙත් ආරක්ෂා කල අතර සතුරන් විනාශ කිරීමට කටයුතු කලේය.

        ඔක්තෝම්බර් විප්ලවය හේතුවෙන් බලය අහිමි වූ ඉඩම් හිමියන් හා ධනවාදීන් වෙනත් රටවල ධනවාදීන් සමග රහස් සාකච්ඡා පැවැත්වූයේ සෝවියට් රාජ්‍යට එරෙහිව යුධ මැදිහත් වීමකට පිවිසීමටය. ඔවුන්ගේ ඉක්කය වූයේ කම්කරුවන් හා ගොවීන් පරාජය කිරීම, සෝවියට් බලය පරාජය කර යටත් කරගැනීමයි. පන්ති සතුරා විසින් ආරම්භයේදී සෝවියට් දේශය තුල පැවති අසතුටුදායක ආර්ථික තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට උත්සහ කලේය. රටේ නව පසුබිම තුල උද්ගතවූ සියළුම ප්‍රශ්න විසඳා ආර්ථිකය ශක්තිමත් කිරීම නව රජය ඉදිරියේ වූ ප්‍රධානතම අභියෝගය වූයේය.

        පක්ෂයට එරෙහි වූ කණ්ඩායම් නව සමාජ ආර්ථික තත්ත්වය මත එහි ක්‍රියාකාරකම්වලට බාධා කිරීමට උත්සහ කළේය. 1920 වර්ෂයේ අවසානයේදී ඔවුන් පක්ෂයත් සමග වෘත්තීය සමීති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සාකච්ඡා කරන ලදී.

        ස්තාලින් සංවිධානාත්මකව ලෙනින්වාදයට එරෙහි වූවන්ගේ අරගලය වෘත්තීය සමිති පිහිටුවීම සම්බන්ධයෙන්වූ සාකච්ඡා පවත්වන කාලය තුලදී කලමනාකරණය කලේය. ඒ අනුව එම පිරිසද ලෙනින් මතවාදී වේදිකාව වටා එක්රැස්විය. ස්තාලින් විසින් පක්ෂයේ ජයග්‍රහණ, පවත්වන ලද සාකච්ඡා වල ප්‍රතිඵල හා ජයග්‍රහණ, සටහන්, එදිරිවාදීන්ගේ පරාජයන් “ ප්‍රාව්දා “ ( සත්‍ය ) පුවත්පත මගින් ප්‍රසිද්ධ කරන ලදී. 1921 වර්ෂයේ ජනවාරි මස 19 වන දින “ අපේ වෙනස්කම්“ නමින් වූ ස්තාලින්ගේ ලිපිය ප්‍රසිද්ධ කරන ලදී. පක්ෂයේ 10 වන සමුළුවේදී ලෙනින්වාදීන් පක්ෂයේ තනතුරු වලට පැමිණියේය. එය මූලික ගැටළු විසඳා ගනිමින් විප්ලවයේ අනාගත ජයග්‍රහණ ඉදිරියට ගෙන යාමට රුකුලක්විය. 10 වන පක්ෂ සමුළුව විසින් රටේ බදු ප්‍රතිපත්තිය, නව දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය යන වැදගත් තීරණ වලට එළඹිය. එහි මැවුම්කරු වූයේ ව්ලදීමීර් ඉලිච් ලෙනින් වේ. ස්තාලින් විසින් “ ජාතික ගැටළුව තුල පක්ෂයේ මූලික කර්තව්‍ය “ නමින් වාර්තාවක් පක්ෂ සමුළුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවෙන් පසු ජාතික ගැටළුව නිරාකරණය කිරීම සඳහා ගතයුතු තීන්දු තිරණ පැහැදිව සකස් විය. අපි ජාතික ප්‍රශ්නයේ පීඩනය දියකර හරින ලදී යනුවෙන් ස්තාලින් සටහන් කරන ලදී.

        ඉන් අනතුරුව ස්තාලින් ජාතික සෝවියට් සමූහආණ්ඩු ආරම්භ කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ආරම්භ කලේය. එම සියළුම සමූහආණ්ඩු එක් රජයක් යටතට ගනිමින් එම රට සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සංගමය නමින් නම්කරන ලදී. සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සංගමය නිර්මාණය කිරීම ලෙනින් - ස්තාලින් ජාතික දේශපාලනයේ සුවිශාල ජයග්‍රහණයක් විය. සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සංගමය ජනතාවගේ මිත්‍රත්ත්වයේ ස්ථීරසාර පදනම මත ගොඩනැගිනි.


        1923 වර්ෂයේ අප්‍රේල් මස12 වන පක්ෂ සම්මේලනය පැවැත්විනි. ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු පැවති ප්‍රථම පක්ෂ සමුළුව එය විය. රෝගාතුර වීම මත ලෙනින් ඊට සහභාගි නොවීය. එම සම්මේලනය පැවැත්වීමේදී ලෙනින් විසින් එතෙක් ලියන ලද සියළුම ලිපි වල සඳහන් කරුණු සැළකිල්ලට ගන්නා ලදී. එම සම්මේලනයේදී ස්තාලින් “ පක්ෂය හා රාජ්‍ය ගොඩනැගීමෙහිලා ජාතික නිමේෂයන් “ යනුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.


        1924 වර්ෂයේ ජනවාරි 21 වන දින බොල්ෂෙවික් පක්ෂයේ නායක හා එහි නිර්මාතෘ ලෙනින් මිය ගියේය.

No comments:

Post a Comment