Sunday, June 12, 2016

ලියෙෆ් නිකලායෙවිච් තල්ස්තෝයි.




ලියෙෆ් නිකලායෙවිච් තල්ස්තෝයි 1828 වර්ෂයේ සැප්තැම්බර් 9 වන දින තූලා නැමැති පළාතේ, යාස්නායා පල්‍යානා හී උපත ලැබුවේය. වංශවත් පවුලක හතරවැනියා වූ තල්ස්තෝයි වූ අතර, මව 1830 දි හා පියා 1837 දී මියගියහ. ඔහුගේ නැන්දනිය ලියෙෆ් ඇතුළු තල්ස්තෝයි දරුවන්ගේ භාරකාරිනිය විය. ඇයගේ වියෝවත් සමගම තල්ස්තෝයි දරුකැළ කසාන් හී දෙවැනි නැන්දනියගේ නිවසට ගොස් පදිංචි විය.
          කුඩා තල්ස්තෝයි නිවසේදීම ප්‍රංශ හා ජර්මානු භාෂාවලින් අධ්‍යාපනය ලබන ලදී. 1843 වර්ෂයේදී තල්ස්තෝයි අධිරාජ්‍යයාගේ කසාන් විශ්වවිද්‍යාලයේ නැගෙනහිර භාෂා මණ්ඩපයට ඇතුලත් විය. 1847 වර්ෂයේදී තල්ස්තෝයි උපාධිය නොලබාම විශ්ව විද්‍යාලයෙන් ඉවත්විය. පසුව ඔහු තම දෙමව්පියන්ගේ වතුයායට පැමිණ ගොවිතැන ආරම්භ කලේය.
          තල්ස්තෝයි සංගීතයට ඉතා ඇළුම්කල අයෙකි. ෂූමන්,ශොපේන්, මොසාර්ඩ් ඔහුගේ ප්‍රියතම සංගීතඥයින් වූවෝය.
          තල්ස්තෝයි ක්‍රිමියානු යුද්ධය සඳහා තම දායකත්වය ලබාදුන් අයෙකි. හමුදා සේවය තුල ඔහු ලද ඉතා කෙටි විවේකය තලදී තම නිර්මාණ කාර්යයට අත්පොත් තැබුවේය. “ ළමා කාලය “ නවකතාව මෙහිදී ආරම්භ කලේය. එහිදී ඔහු තම ළමා කාලයේ ආදරණිය මතක සටහන් ලියා තැබුවේය. 1852 වර්ෂයේ සිට තල්ස්තෝයි “ සමකාලීනයා “ සඟරාවට තම නිර්මාණ ඉදිරිපත් කළේය. මෙම සඟරාව ඔහුගේ නිර්මාණ ඵලකල ප්‍රථම සඟරාව විය. එම සමයේ බිහිවූ විශිෂ්ඨ නිර්මාණකරුවන් වන ඉවාන් තුර්ගේනිෆ්, ඉවාන් ගන්චාරොෆ්, අලෙක්සාන්දර් අස්ත්‍රෝස්කි යන අයගේ නිර්මාණ වලට නොදෙවෙනි නිර්මාණ ලෙස තල්ස්තෝයිගේ නිර්මාණ විචාරකයින් විසින් හැඳින්වුහ.



          “ ළමා කාලය “ ලියා අවසන් කල පසු, ඔහු කෆ්කාස් හී හමුදා මුර පොළෙහි එදිනෙදා ජීවිතයේ අත්දැකිම් ලියා තැබීමට පටන් ගත්තේය. හමුදා සේවය තුලදී ආරම්භ කල “ කසාක්වරු“ නැමැති කතාව 1862 වර්ෂයේදී හමුදා සේවයෙන් ඉවත්වූ පසුව අවසන් කළේය. ක්‍රිමියානු යුද්ධය පිළිබඳවද ලිවීමට ඔහුට වාසනාව උදාවිය. “ බාල කාලය“ කථාවේ දිගුවක් ලෙස “ ළමා කාලය “ නැමැති කතාව 1854 දී ලියා අවසන් කළේය. ක්‍රිමියානු යුද්ධය පිළිබඳව තම විශ්මිත විසංවාදී අදහස් “ සිවස්තෝපල් කථා“ වලට ඇතුලත් කලේය. 1857 වර්ෂයේදී ඔහුගේ තුන්ඈදුතු නවකතාවන්ගේ අවසාන කථාව වන “ගැටවර විය“ ලියා අවසන් කළේය. මෙම කථාවට තමා පැරිස් නුවර ගත කල ගැටවර අත්දැකීම් ලියා තැබුවේය.


1862 වර්ෂයේදී රුසියාවට පැමිණි ඔහු “ යාස්නයා පල්‍යානා“ සඟරාව ආරම්භ කලේය. එම වර්ෂයේදීම වෛද්‍යවරයෙකුගේ දියණියක් වන සොෆියා අන්ද්‍රේව්නා බෙර්ස් සමග විවාහ විය.




තල්ස්තෝයි විසින් “ යුද්ධය හා සාමය“ නව කථාවේ ඉතා විශාල කොටසක් 1860 ආරම්භ කල වර්ෂ වලදී අවසන් කලේ තම බිරිඳ හා දරුවන් සමග යාස්නයා පල්‍යානා හී දිවි ගෙවමිනි. මෙම නවකථාවේ කොටසක් “ රුසියානු දූතයා “ සඟරාවේ පළවූයේ “ 1805 වර්ෂය“ නමිනි. 1869 වර්ෂයේදී ඔහු එම නවකථාව සම්පූර්ණ කලේය.
          ඉන් අනතුරුව තල්ස්තෝයි 1873 දී “ ආන්නා කරේනිනා “ නව කථාව ලවීමට ආරම්භ කළේය. මෙම නවකථාවට රුසියානු - තුර්කි යුද්ධයේ සත්‍ය සිදුවීම් ඇතුලත් වේ.“ යුද්ධය හා සාමය “ නවකතාවට මෙන් මෙම නවකතාවටද තම ජීවන අත්දැකිම් ඇතුලත්ය. එම කතාවේ පළමු වාක්‍ය මෙසේ ලියා තැබුවේ මුළු කතාවේ සාරාංශයක් ලෙසට යන්න මගේ හැඟීමයි.
“ සියළු තෘප්තිකර පවුල් එකිනෙකාට සමානය, සෑම අතෘප්තිකර පවුලක්ම අවාසනාවන්තය තම තමාට ආවේනික ලෙස.“
1873 සිය 1877 දක්වා කොටස් වශයෙන් මෙම නවකතාව කොටස් වශයෙන් ඵලවිය. මේ සඳහා ධනවත් ලේඛකයාට මුදල් ගෙවීමක්ද කරන ලදී.
          පසු කාලීනව තල්ස්තෝයි ආත්මීය අර්බුදයකට හා මානසික අවපීඩනයට ලක්විය. ඔහු තම මීලඟ නිර්මාණ සඳහා “ ජීවිතයේ අරමුණ කුමක් ද?“ යන මාතෘකාව සඳහා යොමු කරන ලදී. ලේඛකයා විසින් මුලින්ම තම අවධානය රුසියානු ඔර්තඩොක්ස් පල්ලිය වෙත යොමු කල අතර එමගින් ඔහු තම ගැටළු සඳහා පිළිතුරු සොයාගත්තේ නැත. ඒ අනුව ඔහු එළඹි තීරණය වූයේ ක්‍රිස්තියානි පල්ලිය දූෂිත බවයි. සංවිධානාත්මක ආගමක් වෙනුවට ඔහු තමාටම ආවේනික විශ්වාසයක එල්බගත්තේය. “ මැදිහත්කරු“ නමින් සඟරාවක් 1883 වර්ෂයේදී නිකුත් කරමින් ඔහු තම විශ්වාසයන් එමගින් එළිදැක්වූයේය. මේ ආකාරයෙන් ඔහුගේ ව්‍යවහාරය හා ආත්මීය විශ්වාසයන්හී පරස්පරය හේතුවෙන් ඔර්තඩෝක්ස් පල්ලියෙන් ඔහුව නෙරපා දමනලදී. එසේම රහස් පොලිසිය ඔහු පිළිබඳව ඔත්තු බලන ලදී. ඔහු තම විශ්වාසය හේතුවෙන් තමා සතු මුදල් හා දේපල සියල්ල පරිත්‍යාග කිරීමට ආරම්භ කලද, බිරිඳ සොෆියා ඊට ඒකාන්තයෙන් විරුද්ධ විය. 1880 සිට 1890 දක්වා කාලය තුල ඔහු ආගමීක නිබන්ධන ප්‍රකාශ කිරීම තව දුරටත් කරගෙන ගියේය. 1886 වර්ෂයේදී “ ඉවාන් ඉලිච්ගේ මරණය “ නම් කතාව ලියා ප්‍රසිද්ධ කළේය. 1898 වර්ෂයේදී “ සිර්ගේ පියතුමා “ නම් වූ කථාව ලියා අවසන් කරන ලදී. ඉන් පසුව ඔහු “ උත්ථානය “ නව කථාව ලියා අවසන් කළේය. 1904 දී “ හද්ජි මුරාජ් “ කථාව අවසන් කලද ඔහුගේ මරණින් පසු එය එළිදැක්විනි. 1911 වර්ෂයේ එළිදැක්වුනු  “ බාල් නැටුමෙන් පසු“ කථාව ලියා අවසන් කරන ලද්දේ 1903 දීය.
          ඔහුගේ ජීවිතයේ අවසාන වර්ෂ 30 ඔහු විසින්ම තමාව හඳුන්වා ඇත්තේ ආත්මීය හා ආගමීක නායනයෙකු ලෙසටය. ඔහු මහත්මා ගාන්ධි මෙන් අවහිංසාවාදී දර්ශනය ඉතා අගය කලපුද්ගලයෙකි. ඔහු අවසාන කාල සීමාවේදී ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය.
          1910 වර්ෂයේ නොවැම්බර් 20 දින අස්තපෝවා නම් වූ දුම්රිය පළේදී රෝගි ශ්‍රේෂ්ඨ ලේඛක තල්ස්තෝයි මිය ගියේය. යාස්නයා පල්‍යානා හීදී ඔහුගේ දේහය මිහිදන් කරන ලදී.



සටහන - ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. According to E.M Forster, Leo Tolstoy’s “War and Peace” (Voyna I Mir) is the greatest novel ever written. The French novelist Romain Rolland called it the most fascinating novel of all time. William James stated “War and Peace is a perfection in the representation of human life” In 1910 Vladimir Ilyich Lenin wrote: ‘succeeded in raising so many great problems and succeeded in rising to such heights of artistic power that his works rank among the greatest in world literature. For over a century, Leo Tolstoy has been one of the most famous and most widely read authors in the whole world (Yegorov, 1994). As indicated by Harding (2010) Leo Tolstoy is widely considered in the West to be the greatest writer of all time (Harding, 2010).

    War and Peace is a philosophical, historical and an epic novel that runs through time and space. In this novel Tolstoy narrates his social, political, philosophical, historical, aesthetic, ethical, religious and moral views. He analyzed the complex processes of historical reality, social dynamics and human behaviour. The ideals and meaning of human existence had been his central theme. Over four hundred fictional and historical characters are illustrated in this unique novel and art of storytelling and meticulous realism are impressive in this masterpiece.

    Read More : http://transyl2014.blogspot.ca/2015/04/leo-tolstoy-and-his-great-epic-war-and.html

    ReplyDelete
  2. හොඳ ලිපියක්. ලෙනින් "විප්ලවයේ කැඩපත" කියල කිව්වා නේද තෝල්ස්තෝයි ට.

    ReplyDelete
  3. තල්ස්තෝයිගේ මරණින් පසු අවස්ථා කිපයකදිම ඔහුගේ චරිතය පිළබඳව නිර්වචන ඉදිරිපත්කර තිබෙනවා. මෙය එයින් එකක්.

    ReplyDelete